ළදරු සපත්තුව නිර්මාණය කරගැනීම– Video tutorial සහිතයි

Spread the love

ඔබේ පවුලට එකතු වෙන අළුත් අමුත්තාට ඔබේ අතින්ම නිර්මාණය වූ දෙයක් තෑගි දෙන්න පුළුවන්නම්. එහෙමත් නැත්නම් ඔබ කිරිකැටියෙකු බලාපොරොත්තුව සිටින මවක් නම් ඔබේ සියළු ආදරය කැටිකොට ඒ සිනිඳු දෙපා පළමු වරට සරසන සපත්තුව ඔබේ අතින්ම නිර්මාණය කළ හැකිනම් එතරම් සතුටක් තවත්නම් නැහැ නේද?

ළදරු සපත්තුව කියන්නේ තරමක් අතරමැදි මට්ටමේ නිර්මාණයක් වුවත් අත්කම් වලට දක්ෂ අයෙකුට මෙය ඉගෙනගැනීම එතරම් අමාරු නැහැ. ඉතිං හැමෝටම ලේසි වෙන විදිහට ඉතා සරල සපත්තුවක් මේ විදිහට අරගෙන ආවේ අළුතෙන්ම ගෙතුම් පටන් ගත් කෙනෙක්ට වුවත් උත්සහ කර බලන්න පුළුවන් වෙනන්යි. ඔන්න ඔයා අද ඊයේ ගෙතුම් පටන් ගත් කෙනෙක්නම් මෙය පළමු වරම කරගන්න බැරි වුණා කියලා දුක් වෙන්න ඕන නැහැ. උත්සහ කරන්න. නැවත නැවතත් උත්සහ කරන්න.

මුලින්ම අපි බලමු ළඳරු සපත්තුව නිර්මාණයට අපිට ඕන වෙන දේවල් සහ පිරවිලි වර්ග මොනවාද කියලා.

  • වර්ණ දෙකකින් යාර්න් – මම මේ සඳහා handy 3 ply යාර්න් බේජ් හා කොරල් වර්ණ වලින් යොදාගත්තා
  • ගොතන කටුව – මම මේ සඳහා  4.0mm ප්‍රමාණයේ ගෙතුම් කටුව යොදාගත්තා
  • කතුර
  • සිදුර මහත ඉඳිකටුව/ ribbon මහන්න ගන්න ඉඳිකටුව 
  • ch – දම්වැල
  • sc - දෙපට පිරවිල්ල (US - half double crochet)
  • hdc - බාග තුන්පට පිරවිල්ල (US - half double crochet)
  • dc - තුන්පට පිරවිල්ල (US - half double crochet)
  • ss - ලිස්සා හැරීම(slip stitch/join) – මෙය රවුමට කරගන්නා ගෙතුමක් බැවින් සෑම වටයක් අවසානයේදීම ලිස්සා හැරීමක් මගින් ඔබ පළමුවෙන්ම කරගත් පිරවිල්ලට සම්බන්ධ කරගත යුතුයි. මෙය පිරවිල්ලක් ලෙස ගණන් නොකරයි.

මීට අමතරව යෙදෙන පිරවිලි අඩු කිරීම් කරගන්න ආකාරය වීඩියෝවේ පැහැදිලිව පෙන්වා ඇත

ළදරු සපත්තුවේ අඩිය ගොතමු

දම්වැල් 11 ගොතන්න. ගෙතුම් කටුවේ සිට 3 වන දම්වැලේ සිට පිරවුම් කරන්න පටන් ගන්න.

  1. වටය – 3 වන දම්වැලට බාග තුන්පට පිරවිලි 3 දමාගන්න. මීළඟ දම්වැල් දෙකටත් බාගතුන්පට පිරවිලි 2 බැගින් දමාගන්න. දැන් 1 දම්වැලකට 1 බාග තුන්පට පිරවිල්ල බැගින් දම්වැල් 5ක් පුරවගන්න. අවසාන දම්වැලට බාගතුන්පට පිරවිලි 5ක් පුරවගන්න.
    දැන් දම්වැලේ කලින් පිරවුම් කරග් පැත්තට විරුද්ධ පැත්තේ ඒ හා සමාන්තරව පිරවුම් කරගත යුතුයි.
    එක දම්වැලකට 1 බාගතුන්පට පිරවිල්ල බැගින් දම්වැල් 5ක් පුරවගන්න. මීළඟ දම්වැල් දෙකටත් බාගතුන්පට පිරචිලි 2 බැගින් දමාගන්න. ඉතිරි වී ඇති දම්වැල සඳහා 1 බාගතුන්පට පිරවිල්ලක් කරගන්න.
    දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න.
    වටය අවසානයේ පිරවිලි ගණන 27ක් විය යුතුයි.
  2. වටය – දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පළමු වටයේ ගොතාගත් පළමු පිරවිලි සිදුරට බාගතුන්පට පිරවිලි 2 දමන්න.
    නැවතත් මීළඟ සිදුරු 2 ටද එක සිදුරකට බාගතුන්පට පිරවිලි 2 බැගින් දමන්න.
    ඊළඟ සිදුරු 8කට බාගතුන්පට පිරවිලි 1 බැගින් කරගන්න.
    දැන් සිදුරකට පිරවිලි 2 බැගින් මීළඟ සිදුරු 5ට බාගතුන්පට පිරවිලි කරගන්න. ඊළඟ සිදුරු 8කට බාගතුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
    ඉතිරි වී ඇති සිදුරු 2 සඳහා එකකට බාගතුන්පට පිරවිලි 2 බැගින් පිරවුම් කරගන්න.
    දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න.
    වටය අවසානයේ පිරවිලි ගණන 36ක් විය යුතුයි.
  3. වටය – දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පළමු වටයේ ගොතාගත් පළමු පිරවිලි සිදුරට බාගතුන්පට පිරවිලි 2 දමන්න.
    මීළඟ සිදුරට 1 බාගතුන්පට පිරවිල්ලක් ගොතන්න.
    නැවතත් පිරවිලි 2 හා 1 බැගින් පිළිවෙලින් දෙවරක් එන ලෙස මීළඟ සිදුරු 4 ට බාගතුන්පට පිරවිලි දමාගන්න.
    ඊළඟ සිදුරු 8කට බාගතුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
    දැන් පිරවිලි 2 හා 1 බැගින් පිළිවෙලින් 5 වරක් මීළඟ සිදුරු 10 ට බාගතුන්පට පිරවිලි දමාගන්න
    ඊළඟ සිදුරු 8කට බාගතුන්පට පිරවිලි 1 බැගින් කරගන්න.
    ඉතිරි වී ඇති සිදුරු 4 සඳහා නැවතත් පිරවිලි 2 හා 1 බැගින් දෙවරක් ලෙස බාගතුන්පට පිරවිලි දමාගන්න.
    දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න.
    වටය අවසානයේ පිරවිලි ගණන 46 ක් විය යුතුයි.

    දැන් ගෙතුම කටුවෙන් පන්නා අවසන් මුදුව අඟල් දෙකක් හෝ තුනක් ඉතිරිවන ලෙස ඉහළට ඇද ඉතිරි කර නූල කපාගන්න.

දැන් සපත්තුවේ උඩ කොටස ගොතමු

  1.  වටය – ගොතාගත් සපත්තුවේ අඩියේ විලුඹ මැද සිදුරේ සිට පිරවුම් කිරීම ආරම්භ කරන්න. මෙහිදී බැක් ලූප් හි පමණක් පිරවුම් කෙරේ. (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත) වෙනත් වර්ණයකින් ලිස්සන ගැටයක් දමාගන්න. ගොතන කටුව මැද සිදුරේ බැක් ලූප් එක අතරින් යවා පෙර සකසාගත් slip knot එක ඒ අතරින් ඇදගන්න. දැන් දම්වැලක් කරගන්න. එම බැක් ලූප් එකටම දෙපට පිරවිලි කරගන්න.
    සපත්තු අඩිය වටා සියළු බැක් ලූප්ස්(back loops only) මෙලෙස දෙපට පිරවිලි වලින් පුරවාගන්න.
    දැන් ලිස්සා හැරීමකින් පළමු පිරවුමට සම්බන්ධ කරගන්න.
    වටය අවසානයේ පිරවිලි ගණන 46 ක් විය යුතුයි.
  2. වටය – දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිලි සිදුරට දෙපට පිරවිල්ලක් කරගන්න. (මෙම වටයේ සිට ඉදිරියට සිට සියළුම වට ලූප්ස් දෙකම තුලින් කරගන්න)
    සියළු පිරවිලි සිදුරු සඳහා දෙපට පිරවිලි දමාගන්න
    දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න.
    වටය අවසානයේ පිරවිලි ගණන 46 ක් විය යුතුයි.
  3. වටය – දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිලි සිදුරට දෙපට පිරවිල්ලක් කරගන්න.
    මීළඟ සිදුරු 14 ට දෙපට පිරවිලි 14 ක් කරගන්න.
    දැන් ( මීළඟ සිදුරු 2ට දෙපට පිරවිලි අඩු කිරීමක්, ඊළඟ සිදුරට දෙපට පිරවිල්ලක්) ලෙස 5 වරක් කරගන්න (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත. )
    ඉතිරි සිදුරු 16 ට දෙපට පිරවිලි 16 ක් කරගන්න.
    දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න.
    වටය අවසන් පිරවිලි ගණන – 41යි.
  4. වටය – දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට දෙපට පිරවිල්ලක් කරගන්න.
    මීළඟ සිදුරු 13 ට දෙපට පිරවිලි 13 ක් කරගන්න.
    මීළඟ සිදුරට බාගතුන්පට පිරවිල්ලක් ගොතන්න.
    දැන් තුන්පට පිරවිලි අඩුකිරීම 5 වරක් කරගන්න (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත)
    මීළඟ සිදුරට බාගතුන්පට පිරවිල්ලක් ගොතන්න.
    මීළඟ සිදුරු 13 ට දෙපට පිරවිලි 13 ක් කරගන්න.
    ඉතිරි සිදුරු 2ට දෙපට පිරවිලි අඩු කිරීමක් කරගන්න.
    දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න.
    වටය අවසන් පිරවිලි ගණන – 35 යි. 
  5. වටය – දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිලි සිදුරට දෙපට පිරවිල්ලක් කරගන්න.
    මීළඟට බාගතුන්පට පිරවිලි අඩු කිරීමක් කරගන්න.
    මීළඟ සිදුරු 3 ට බාගතුන්පට පිරවිලි 3ක් කරගන්න.
    දැන් දෙපට පිරවිලි 5ක් යොදා ඊළඟ සිදුරු 5 පුරවන්න.
    මීළඟ සිදුරට බාගතුන්පට පිරවිල්ලක් ගොතන්න.
    දැන් දෙපට පිරවිලි අඩු කිරීම 6 වරක් කරගන්න ( මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත)
    මීළඟ සිදුරට බාගතුන්පට පිරවිල්ලක් ගොතන්න.
    මීළඟ සිදුරු 5ට දෙපට පිරවිලි 5ක් කරගන්න.
    මීළඟ සිදුරු 3ට බාගතුන්පට පිරවිලි 3ක් කරගන්න.
    මීළඟට බාගතුන්පට පිරවිලි අඩු කිරීමක් කරගන්න.
    දැන් ලිස්සා හැරීමකින් පළමු පිරවුමට සම්බන්ධ කරගන්න.
    වටය අවසානයේ පිරවිලි ගණන 27ක් විය යුතුයි.

දැන් ගෙතුම කටුවෙන් පන්නා අවසන් මුදුව අඟල් දෙකක් හෝ තුනක් ඉතිරිවන ලෙස ඉහළට ඇද ඉතිරි කර නූල කපාගන්න.

සිදුර මහත ඉඳිකටුවේ ආධාරයෙන් ඉතිරි වූ නූල පිරවුම් අතරින් යවා ගෙතුම නොගැලවෙන පරිදි මසාගන්න.

මෙම සපත්තුවේ මූලික හැඩය විවිධ ආකාරයෙන් වෙනස් කරගනිමින් විවිධ මෝස්තර නිර්මාණය කරගන්න පුළුවන්. වර්ණ වෙනස් කරගෙන හෝ මල් සහ පබළු යොදා ඔබ කැමති පරිදි අලංකාර කරගෙන ඉතා හුරුබුහුටි ලස්සන සපත්තුවක් ඒ හුරුබුහුටි දෙපා සරසන්න නිර්මාණය කරගන්න දැන් ඔයාලට පුළුවන්.

1 කොටස - පතුල
2 කොටස - උඩ කොටස


Spread the love

Recommended Articles

4 Comments

  1. Hi

    This is my fist time seeing this blog and video in sinhala and I am so happy about it… Thank you and bless you so much

Knowledge වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

si_LKසිංහල