දිදුලන දෑතින් රටා මවන හිරුණි රණවීර

Spread the love

හිරුණි රණවීරව මම හඳුනාගන්නෙ 2019 වර්ෂයෙදී මගෙ online ගෙතුම් පන්තියට සහභාගී වන සිසුවියක් ලෙස. නොබෝ දිනකින්ම හැමදාම දකින්න නොදකින අළුත්ම ආරකට පණ දී ඇති ඇයගේ ඉතා අලංකාර ළමා ඇදුම් මෝස්තර මගේ සිත ගන්නවා. මේ සමඟම ඇගේ දක්ෂතාවත් ඉතා හොඳින් පන්තියේ සිසුවියන් අතර කැපී පෙනුනා. මේ මාසයේ crochet a-zසමූහයට වැඩිම දායකත්වයක් දුන් ඇය ගැනයි අද featured crocheter තුළින් කතාබහ. 

ඔබ ගෙතුම් පටන් ගත්තේ කෙලෙසද?

මම ගෙතුම් කළාව පිළිබද දැනගත්තෙත්, ගෙතුම් වලට මගේ පළමු පියවර තියන්න හේතුව වුනෙත් , මගේ අම්මගෙ යාළුවෙක් ගෙතුම් කරනවා දැකලා ඇති වුන ආසාව නිසායි. ඒ මම පාසල් යන කාලෙයි.

මට අම්මගේ යාලුවා හරහා දම්වැල ගොතන්න ඉගෙනගන්න පුලුවන් වුනත් එතනින් එහාට මට ඉගෙනගන්න අවස්ථාව ලැබුනෙ නෑ අම්මගේ යාළුවගේ මග පෙන්වීම යටතේ. ඉතින් එතනින් එහාට මම ගෙතුම් වලින් ඉස්සරහට ආවෙ තනියම ඉගෙනගෙනයි. එදා ගෙතුම් කරන දිහා බලන් ඉදලා ඇති වුන අසීමිත ආසාව, මට ඒ පිලිබදව ඉගෙන ගන්න ලොකු උනන්දුවක් ඇති කළා, කිසිම කෙනෙකුගේ මග පෙන්වීමක් නැතිවම වුනත්. එදා ඉදන් මම ගෙතුම් පිලිබදව විශාල තොරතුරු ප්‍රමාණයක් දැනුමක් එකතු කරගත්තේ අන්තර්ජාලය පිරික්සීමෙන්. පින්ට්‍රස්ට්, යූ ටියුබ්, වගේම “ගෙතුම් කලාව මුල සිට”සමූහය හරහාත් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. විශේෂයෙන්ම ගෙතුම් කියන්නෙ මොන තරම් පුලුල් පරාසයකට විහිදුන කළාවක්ද කියලා මම දැනගත්තේ මේ සමූහයේ සාමාජිකත්වය ලැබිලා එහි ඵල කර තිබුණ විවිධ නිර්මාණ බලපු දවසෙයි.

ගෙතුම් වලට කැමති වීමට හේතුව?

නිකන්ම නිකන් තියෙන නූලක් ගෙතුම් කටුවක දවටලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ගත්තම හිතාගන්නවත් බැරි තරම් පුදුම, ලස්සන නිර්මාණ හැදෙනවා කියලා දැනගත්තට පස්සෙ මටත් ආස හිතුනා ඒ වගේ නිර්මාණශිල්පිනියක් වෙන්න. ඇත්තටම අදටත් මට දැනෙන්නේ ගෙතුම් හරියට මැජික් එකක් වගේ කියලා. මම නිර්මාණයක් කරලා ඉවර වෙලා, ඒක අතට අරන් බලනකොට මටම පුදුම හිතෙනවා වූල් බෝලයක් මෙච්චර ලස්සන නිර්මාණයක් කලේ මේ හරිම සරල පුංචි ගෙතුම් කටුවෙන් නේද කියලා.

ගෙතුම් වලට පුලුවන් නිකන්ම තියෙන වූල් බෝලෙකින් පුංචි බබෙක්ට ආදරණීය යාලුවෙක් හදලා දෙන්න, කෙනෙක්ව ලස්සනට පේන්න ලස්සන ඇදුමක් හදන්න. ඉතින් ගෙතුම් වල තියෙන මේ පුදුම හිතෙන නිර්මාණාත්මක බවට තමයි මම කැමති.

ඔබ වැඩිපුරම ගෙතීමට කැමති මොනවාද?

මම ගොඩක්ම කැමති පුංචි බබාලට එක එක මෝස්තර වල ලස්සන ඇදුම් ගොතන්න.

ඔබ ගෙතුම් අලෙවි කරන්නේද? එසේනම් ඔබේ ව්‍යාපාරයේ නම කුමක්ද?

ඔව්

එම නම දැමීමට හේතුව?

මම නිර්මාණාත්මක වැඩ වලට ගොඩක් කැමතියි. ඒ වගේම පුද්ගලයෙක් තුළ තියෙන නිර්මාණාත්මක බවත් මම ගොඩක් අගය කරනවා. මොකද හැමෝටම ලස්සන ලස්සන නිර්මාණ කරන්න බෑ. ඒකටත් හොද හැකියාවක් තියෙන්න ඕනි කියන එකයි මගේ අදහස. ඉතිං මට අවශ්‍ය වුනා මගේ ව්‍යාපාරයටත් ඒ නිර්මාණාත්මක බවට වටිනාකමක් එකතු කරන නමක් දාන්න. ඒ නිසයි මම ශයිනින්ග් හෑන්ඩ්ස් කියන නම තිබ්බේ.

මගේ හැම ගෙතුම් නිර්මාණයක්ම නිම වෙන්නෙ ගෙතුම් කටුවත් නූලත් එහෙට මෙහෙට හසුරමින් දස්කම් දක්වන මගේ දෑතින්මයි. ඉතින් මම මගේ දෑතට ස්තූතිවන්ත වෙනවා මේ වගේ ලස්සන නිර්මාණ කරන්න මට ශක්තියක් වෙන එකට. ඒ නිසයි මම දිදුළන දෑත කියන අර්ථයෙන් මගේ ව්‍යාපාරයට නම දැම්මෙ.

ගෙතුම් අලෙවි කිරීමට ආරම්භ වූ/ආදර්ශ වූ හේතුව?

කතාවක් තියෙනවා “ඔබ ඔබගේ සිහින සැබෑ කර ගැනීමට ඔබව යොදා නොගන්නේ නම්, වෙනත් පුද්ගලයන් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට ඔබව යොදා ගනු ලබයි” කියලා. ඉතින් පොඩි කාලෙ ඉදන්ම මට සිහිනයක් තිබුනා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. මං ළග තියෙන හැකියාවන් සහ මම ඉගෙන ගත්ත දේවල් මගේ සිහින සැබෑ කරගන්න යොදාගන්න මට අවශ්‍ය වුනා. ඉතින් මම මගේ ගෙතුම් හැකියාවත්, මගේ ව්‍යාපාර කළමණාකරණ උපාධිය හරහා ලබා ගත්ත දැනුමත් ශයිනින්ග් හෑන්ඩ්ස් නමින් ව්‍යාපරයක් බවට පත් කළා.

ඔබ මෙතෙක් ගොතා ඇති ඔබ ආසම නිර්මාණය කුමක්ද?

ඔබගේ වැඩියෙන්ම අලෙවි වන නිර්මාණ?

ව්‍යාපාරය සම්බන්ධ අනාගත බලාපොරොත්තුව?

ශයිනින්ග් හෑන්ඩ්ස් කියන නමට මම ගොඩක් ආදරෙයි. ඉතින් මගේ ව්‍යාපාරය සම්බන්ද සියලුම සැලසුම් සහ බලාපොරොත්තු වල අවසානය තමයි ශයිනින්ග් හෑන්ඩ්ස් ලොව දැවැන්තම අත්කම් නිර්මාණ අලෙවි සන්නාමය බවට පත් කිරීම. ඒක ගොඩාක් ලොකු බලාපොරොත්තුවක්. නමුත් ඒ වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන්නත් මම පසුබට වෙන්නෙ නැහැ.

#featuredcrocheterofthemonth මෙම වැඩසටහන ගැන ඔබේ සිතුවිලි ??

හරිම ලස්සන සහ රසවත් වැඩ සටහනක්. ප්‍රශ්න වලට උත්තර දෙනවත් එක්කම, පොඩි වෙලාවකට ගෙතුම් කරන්න පටන් ගත්ත මුල් කාලෙට යන්න ලැබුනා.

සමූහයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබේ අදහස්??

“ගෙතුම් කළාව මුල සිට” සමූහය ගෙතුම් කළාවේ දැනුම් ගබඩාවක් වගෙයි. මමත් ගෙතුම් පිළිබදව ගොඩක් දේවල් සමූහය හරහා වගේම අසින් මිස් හරහාත් ලබා ගත්තා. ඒ වගේම මම හිතනවා මේ සමූහය තමයි මේ වන විට ලංකාවේ තිබෙන එකම සහ හොදම ගෙතුම් කළාව සම්බන්ද විශාලතම සමූහය කියලා.

දැනටමත් සමූහය හරහාම ගෙතුම් අලෙවි කරන්නන්, ගෙතුම් නිර්මාණ සදහා අවශ්‍ය යම් යම් අමුද්‍රව්‍ය සපයන්නන් බිහි වෙලා තිබෙනවා. සමහර නිර්මාණ කරුවන් විනෝදාංශයක් විදියට ගෙතුම් කටයුතු සිදු කලත් බොහෝ පිරිසක් මේ නිර්මාණ ස්වයං ව්‍යාපාරයක් දක්වා රැගෙන යන්න ලොකු උනන්දුවක් දක්වන බව පේනව. නමුත් මේ සදහා දැනුම මදි කමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඔන්ලයින් ව්‍යාපාර, ව්‍යාපාර කටයුතු සදහා සමාජ මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය, අත්කම් නිර්මාණ අලෙවි කර ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් සකසා ඇති අවස්ථාවන් සහ අලෙවිසැල්, ගෙතුම් සම්බන්දව පවතින ජාත්‍යන්තර වෙළදපොළ වගේ අංශයන් පිළිබදවත් යම් දැනුමක් ලබා දෙන්න කටයුතු කරන්න පුලුවන් නම් ඒක ගොඩක් දෙනෙක්ට ලොකු වටිනාකමක් ලබා දෙයි කියලා මට හිතෙනවා. මොකද ගෙතුම් සම්බන්දව ඉහල අවස්තාවන් ජාත්‍යන්තර වෙළදපොලේ තිබෙනවා. නමුත් ගෙතුම් සම්බන්ද නිශ්පාදන ඉහළ මට්ටමේ වෙළදපොළකට අරන් යන්න සුදුසු තරම් ඉහළ ගුණාත්මක තත්වයේ අමුද්‍රව්‍ය ලංකාවෙ නූල් / වූල් වෙලදපොලේ දකින්නට ලැබෙන්නෙ නෑ. ඉතින් මේ වගේ වෙළදපොල හිදැස් වලට සැපයුම් කරුවන් බිහි වෙනවා නම්, නිර්මාණ කරුවන්ගේ දැනුම ඉහළ යනවා නම් ගෙතුම් කළාවට නව මුහුණුවරක් එකතු කරන්න ගෙතුම් කළාවේ නියැලෙන අපිට පුලුවන් වෙයි.

අනෙකුත් ගෙතුම් ශිල්පිනියන් හට ඔබේ පණිවිඩය?

ඔබේ දක්ෂතාවයන්ට සහ හැකියාවන්ට ඔබත් සමගම මහළු වීමට හෝ මියැදීමට ඉඩ නොතබන්න. එය සතුට හෝ මුදල් බවට පත් කර ගන්න.


Spread the love

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

si_LKසිංහල